ඇසල පෙරහැර
එදා මාමා ටෙලිෆෝන් කරේ හවස් වෙලා. කතාව පටන් ගත්තේ කිසිම පූර්විකාවක් නැතුව.
“මතකද පුතා අපි මිස්ට එදිරිසිංහට කිව්වා අම්මා තාත්තා එක්ක එන්ට කියලා පෙරහැර බලන්ට? එයා මට ඊයේ හම්බවෙලා ඇහුවා මේ අවුරුද්දේ ඇසල පෙරහැරට දෙමව්පියෝ එක්ක ආවට කමක් නැද්ද කියලා… පෙරහැරට තව සති දෙකක් විතර තියෙන බව ඇත්ත හැබැයි එයාගෙ තාත්තට ටිකක් වයස හින්දා ඉක්මනට පෙරහැර පෙන්නලා මාලිගාවත් වැඳගත්තොත් හොඳයි නේද කියලා අක්කා කිව්වලු… මිනිහට ටිකක් මොකද්දෝ වගේ අම්මා තාත්තා අපේ ගෙදර නවත්තන්ට. හැබැයි දැන් මිනිහා ඉන්න ගේ කෑල්ලේ දෙමව්පියන්ට ඉන්ට ඉඩ නැති නිසා එයා එකඟවුනා මහ දෙන්නා අපෙ ගෙදර නවත්තන්ට”
මට තේරුම් ගන්න බෑ මාමා මේ තරම් විස්තර මට කියන්නේ ඇයි කියලා.
“ඒක මාමලාට කරදරයක්ද?”
“අපෝ නෑ පුතා. කීපදෙනෙක් ආවත් අපිට කරදරයක් නෑ. මං මේ පුතාට කතාකරේ ඒ ජෝඩුව නුවරින් අපෙ ගෙදරට ගෙනත් දාන්ට පුළුවන් වෙයිද කියලා…”
“මාමා ඕක අහන්නත් දෙයක්ද? මට කිසිම ප්රශ්නයක් නෑ දෙන්නා ගෙනත් දාන්න… මගෙන් වෙන මොකවත් කෙරෙන්න ඕනද?”
“තැන්ක්යූ පුතා… තව එක උදව්වක් … පුතාට පුළුවන්ද පෙරහැර බලන්ට පුටු ටිකක් බුක් කරන්ට? හැබැයි තවම හරියට දවස දන්නෙත් නෑ, පුටු කීයක් ඕන වෙයිද දන්නෙත් නෑ…”
“සීට් බුක් කරන්න පුළුවන් හැබැයි ටිකක් කලින් දැනගන්න ඕනෑ. දවස කිට්ටු වෙනකොට සීට් හොයන්නත් අමාරුයි ගණනත් වැඩියි”
“දැනගත්ත වහාම මම කෝල් කරනවා ගෙවන්නේ මම”
මට මතකයි පෙරහැර කාලේ එදිරිසිංහ පවුලට නුවර එන්න නැන්දා ආරාධනා කළ දවස. මිනිහා අට්ටික්කා ගහේ දෙයියෝ ගැන ඇත්ත නැත්ත සොයා බලලා ඒ ගැන මාමට වාර්තා කරන වෙලාවේ මමත් එතන හිටියා. එතෙන්දී තමා මාමා එදිරිසිංහට කුඩාගම තමාගෙම ගම හැටියට සලකන ලෙසත්, නැන්දා එදිරිසිංහගෙ දෙමවුපියන්ට පෙරහැර බලන්නත් එන ලෙසත් ආරධනා කළේ. ඒත් මම හිතුවෙ නෑ එදිරිසිංහ වගේ කුලෑටි ‘පිට ගම් කාරයෙක්’ තමංගෙ ගැමි දෙමව්පියෝ නොපුරුදු නොහඳුනන ගෙදරකට එක්ක එන්න එකඟ වෙයි කියලා. මාමලාට එදිරිසිංහ ගැන මට වඩා හොඳ වැටහීමක් ඇති බව පැහැදිලියි.
මම රෑ කෑමෙන් පස්සේ කමලට කිව්වා මාමගෙ ඉල්ලීම ගැන. කමලා ඒ ගැන පුදුම වුනේ නෑ.
“මාමයි නැන්දයි හරි කැමතියි නේද මිස්ට එදිරිසිංහට? එයා ගමේ තියාගන්නත් සෑහෙන්න මහන්සිවුනා…. ඔයා කිව්වද පෙරහැර බලලා රෑ මෙහෙ ඉන්න පුළුවන් කියලා?”
“ඒක මට හිතුනෙවත් නෑ! ඔයාට කරදරයක් වෙයිද, මෙහෙ රැයක් හිටියොත්?”
“මාමලාට පුළුවන් නම් අපිට බැරි මොකද? අනික පෙරහැර ඉවරවෙලා රෑ ගමේ යනවට වැඩිය හොඳයි මෙහෙ ඉඳලා යන එක”
………………………………
“අජිත් මහත්තයා මේ මගෙ අම්මයි තාත්තයි, මේ අජිත් හේරත් මහත්තයා තමා අපි කුඩාගමට එක්ක යන්නේ”
එදිරිසිංහගෙ කඩවසම් පෙනුමත් හිනාවත් එයාගෙ අම්මගෙන් උරුමවූ දේ බව පැහැදිලිව පෙනුනා. එයාගෙ කල්පනාකාරී බව තාත්තගෙ මුහුණෙත් දැක්වුනා. කොටුවගේ වාසගමත් එක්ක අම්මගෙ නම ලීලා බවත් තාත්තගෙ නම මාටින් බවත් එදිරිසිංහ මට කලින් කියා තිබුනා.
මම අත් දෙක එකතු කරලා ‘ආයුබොවන්’ කියලා දෙන්නා පිළිගත්තා.
“උදේ පාන්දර පිටත්වෙන්න ඇති නේද?”
“හතරට ගෙදරින් පිටත්වුනේ!”
“හොඳටම මහන්සි ඇති… අපෙ ගෙදර ගිහින් තේ එකක් බීලා ගමේ යනවද නැත්තම් කෙලින්ම යනවද?
මම මෙහෙම ඇහුවේ එදිරිසිංහගෙන්. එයා කැමතිවුනේ කෙලින්ම ගමේ යන්න. මම තුන්දෙනාම කාරෙකේ දාගෙන පිටත්වුනා. මග බිම් සලකුණු විස්තර කිරීම එදිරිසිංහට බාර කරලා මම වාහනේ එලෙව්වේ හෙමින්. නමුත් මල්වත්ත හැර වෙන කිසිම දෙයක් වර්ණනාවුනේ නෑ; ජෝඩුවට නිවිහැනහිල්ලේ රටතොට බලාගන්න ඉඩ දීලා එදිරිසිංහත් නිහඬවුනා.
මාමලාගෙ ගෙදරට ඇවිත් හැදින්වීම් අවසානවූ වහාම නාන කාමර, නිදන කාමර වලට අමුත්තෝ එක්ක ගියේ නැන්දා. දෙමව්පියන්ගෙ ඇඳුම් මලු උස්සාගෙන ඒ පසුපසින් ගිය එදිරිසිංහ එලියට ආවේ ගමෙන් ගෙනා කිරි හට්ටියක්, පැනි බෝතලයක් හා දොදොල් පට්ටයකුත් අරගෙන. මාමලගෙ කෑම මේසේ රසකැවිලි සහ කෙසෙල්ගෙඩි වගේම කිරිබත්, පොල් සම්බල් වගේ කෑමත් තිබුනා. නැන්දා ලෑස්ති වෙලා තියෙන්නේ අමුත්තන්ගේ සියලු ඕනෑකම් සපුරන්නයි, ඒ අය දවල් කෑම ගත්තද නැද්ද නොදැනත්. තේ බීමෙන් පසුව ආගිය කතාවට අයියා මුල්වුනා.
“හැබෑට හොඳ දොදොල් කෑල්ලක් කාපු කාලයක් මතක නෑ - දකුණේ තරම් මෙහෙ දොදොල් මට අල්ලන්නෙ නෑ”
“තාත්තා මේ සුනිල් මහත්තයා අවුරුදු තිහකටත් වැඩිය ගාල්ලේ ඉඳලා තියෙනවා!”
“ඔවු. මට එදිරිසිංහ මහත්තයා කිව්වා ඔබතුමාලා හුංගම කියලා. අපි ඉඳලා හිටලා ඒ පැත්තේ ගියා. මට මතකයි හරියට කුරුල්ලෝ එනවා කලපුවට - එක එක රටවලිනුත් එක්ක... හොඳටම මහන්සි ඇති අද කෙලින්ම ඇවිල්ලා - කොච්චර විතර වෙලා ගියාද ගමනට?”
උත්තර දුන්නේ එදිරිසිංහගෙ අම්මා.
“ගෙදරින් මාතරට එන්ඩ පිටත්වුනේ උදේ හතරට. මාතරින් කඩුවෙලට, කඩුවෙලින් නුවර… එනවා එනවා එනවා, කෙලවරක් නෑ!”
නැන්දා ඒකට කනගාටුව ප්රකාශ කළා.
“අනේ නෝනමහත්තයට හොඳටම එපා වෙන්ට ඇති… මං හිතුවේ දෙන්නා තේ බීලා ටිකක් හාන්සිවුනොත් හොඳයි. කරුවල වෙනකොට ඇහැරවන්නං”
එදිරිසිංහ මා දිහා බැලුවා.
“අජිත් මහත්තයා රෑ ඉන්නවද?”
“අපෝ නෑ. මං ආපහු නුවර යනවා තව ටිකකින්”
“බොහෝම ඉස්තූතියි අම්මයි තාත්තයි එක්ක ආවට…”
“ඔව්වා ගණන් ගන්න එපා”
මම වැඩි වෙලා හිටියෙ නෑ. මාමත් එක්ක පෙරහැර බලන සීට් ගැන කතාකරගෙන ඉවරවෙලා ටිකකින් මම පිටත්වුනා. අයියත් රෑ නුවර නවතින්න මාත් එක්කම ආපහු ආවා. කාරෙකේ එන ගමන් අයියා කිව්වේ මාමටයි නැන්දටයි කොටුවගේ ජෝඩුව බලාගන්න එක ලේසිවෙයි කියලා අයියා නැතුව. ඒකේ ඇත්තක් තියෙන බව මට වැටහුනා.
පහුවදාම අයියයි මමයි ටවුමට ගියා පෙරහැරට සීට් වෙන්කරගන්න. ටෙලිෆෝන් එකෙන් කරගත හැකි වුනත් අපි දෙන්නම කැමතියි පෙරහැර දවස්වල දවල් නුවර ටවුමේ ඇවිදින්න.
“මොකද අයියා හිතන්නේ එදිරිසිංහගෙ දෙමව්පියෝ ගැන - මාමලාට කරදරයක් වෙයිද?”
“මං හිතන්නෙ නෑ මලයා. අපෙ පලාතේ මිනිස්සු මොනවා කිව්වත් දකුණේ අය පිට කෙනෙකුගෙ හිත රිදවන දෙයක් කියන්නේ කරන්නේ නෑ. ඒක උගත්/නූගත් සේරගෙම ගතියක්. අනික එදිරිසිංහගෙ දෙමව්පියෝ මිනිහට වඩා හුඟක් වෙනස් වෙන්නෙ නෑ, මං හිතන්නේ”
“කමලයි මායි දෙන්නම හිතුවේ පෙරහැර බලන දවසේ රෑ ඒ අය අපෙ ගෙදර තියා ගන්න”
“ඒක නම් හොඳයි තමා - ආයෙ රෑ මැද ගමේ යනවට වැඩිය. අම්මයි අප්පච්චියිත් එනවද පෙරහැර බලන්න?”
“මට කිව්වේ සීට් තුනක් බුක් කරන්න කියලා. ඒ කියන්නේ එදිරිසිංහයි දෙමව්පියොයි විතරයි වෙන්න ඇති එන්නේ… අයියටත් පෙරහැර බලන්න ඕනනම් මම තව සීට් එකක් බුක් කරන්නම්”
“අනේ මට බෑ… ඕන නම් පස්සේ දවසක අපි දෙන්නා විතරක් එමු - සීට් බුක් නොකර වැව රවුමේ ඉඳන් බලන්න - ඉස්සර කාලේ වගේ”
සීට් තුනක් ගන්න එක මම හිතුවට වඩා ලේසිවුනා. මම මගෙ නමයි ටෙලිෆෝන් නොම්බරෙයි දුන්නට පස්සේ එතන හිටපු කෙල්ල හිනා වෙලා කතා කරා.
“මිස්ට හේරත් හරිම ලකී. එදා රෑට ඉස්සරහ පෙලේ සීට් තුනක් අද උදේ කැන්සල් වුනා - ඒවා දෙන්න පුළුවන් - අපෙ හොඳම සීට්!”
“නියමයි - ඒ අය ඈත පලාතකින් එන කට්ටියක්!”
මම ටිකට් කෙල්ලට ස්තුති කරලා සල්ලි ගෙවලා එලියට ආවේ සන්තෝසෙන් - සීට් බුක් කිරීම මීට වඩා අමාරුවෙයි කියලා මම හිතාගෙන හිටියේ. අයියා මම එලියට එනතුරු බලාගෙන හිටියා.
“මලයා… ඔය සීට් බුක් කරේ අනිද්දට නේද? ඕනනම් මම එදා උදේ ඔයාගෙ කාරෙක අරගෙන ගමේ ගිහින් ඒ අය එක්ක එන්නම්, නිකම්ම ගෙදරට වෙලා ඉන්නවා වෙනුවට…”
“තැන්ක්යූ අයියා… මං හිතුවේ අල්විස් කඩේ කාරෙකේ ගෙන්න ගන්න. හැබැයි උදේ ගෙන්න ගන්න අදහස හොඳයි. අපිට පුළුවන් ඕනනම් මාලිගාවට එක්ක යන්න…”
අයියා හිනාවුනා.
“මලයම මාලිගාවට එක්ක ගියොත් හොඳයි - මම මාලිගා යන කෙනෙක් නෙවෙයි. ඕන නම් මල්වත්තට එක්ක යන්නම්!”
……………………………
එදිරිසිංහ පවුල එන්න ඉස්සර අපි ගෙදර සැකසුම ටිකක් වෙනස් කරා. පුතා දවස් කීපයක් යාළුවෙකුගෙ ගෙදර නවතින්නත් දුව අපෙ කාමරේ නිදාගන්නත් ඉදිරිපත්වුන නිසා නිදන/නාන කාමර වලින් කරදරයක් වුනේ නෑ. ඒ වගේම අයියා ඒ අය මල්වත්තටත් අලි නාන තැන පෙන්වන්නත් එක්ක යන නිසා අපිට වැඩිය අමුත්තන්ට ‘සලකන්න’ අවශ්යතාවයක් තිබුනෙත් නෑ.
අල්විස් කඩේ කාරෙක එදිරිසිංහ පවුල අරගෙන අපෙ ගෙදරට එනවිට උදේ නමයට විතර ඇති. තේ පානයෙන් පස්සේ අයියා ඒ තුන්දෙනා පේරාදෙනියට අරගෙන ගියා. මිස්ට එදිරිසිංහම දවල් කෑමෙන් පස්සේ දෙමව්පියෝ මාලිගාවට එක්ක යන්න පොරොන්දුවුනා. මට ඉතිරිවී තිබුනේ හවස පෙරහැර බලන්න යෑමට ඒමටත් පහුවදා ගමේ යෑමට ප්රවාහණය සැපයීම පමණයි.
නමුත් මල්වතු ගමනෙන් පස්සේ අයියා ආපහු ආවේ තනියම.
“මිස්ට එදිරිසිංහ නාකි ජෝඩුවත් එක්ක ටවුමේ බැස්සා. කිව්වා දවල් කෑමට ඉස්සර මාලිගාවෙත් ගියොත් හවස ටිකක් හාන්සි වෙන්න පුළුවන් කියලා - රෑ පෙරහැර නිසා”
“ඒක හොඳ අදහස හැබැයි… මල්වත්ත පැත්තේ හෝ ගාලා සෙනග ඇති නේද?”
“පිරිලා ඉතිරිලා ගිහින්! හැබැයි හොඳ වෙලාවට මං එතෙන්ට යනකොටම නවත්තලා තිබුන කාරෙකක් එලියට ගත්තා, ඒකේ ඩ්රයිවර් මට හිනාවෙලා අතත් වනලා! මම ටක් ගාලා එතන පාක් කරා. වෙලාව තමයි. නාකි ජෝඩුවට හොඳටම හිතට ඇල්ලුවේ මුළු මල්වත්තෙම සැකසුමයි වැසි වනාන්තරයක් වගේ තද කොළ පාටයි - හුංගම පැත්ත වගේ වියලි නෑ. එදිරිසිංහගෙ තාත්තා තමා ඒක හරියටම කිව්වේ - ‘මහත්තයා මේකේ ඕනෑම ගහක් කොලක් හදන්ඩ ඇහැකි? ගඟේ රොන් මඩේ අගේ තමා’ – මමත් ඉස්සරවෙලාම එහෙම හිතුවේ, ගඟේ මඩම තමා එතන තියෙන්නේ… අපි පැයක් එහෙ මෙහෙ ටිකක් ඇවිදලා තේ එකකුත් බීලා තමා එලියට ආවේ ”
“දෙන්නට මහංසි නැද්ද?”
“මොන පිස්සුද නංගී - අපිට වඩා හොඳට ඇවිදිනවා!”
“එහෙනං දවල්ම මාලිගාවට ගිය එකත් හොඳයි, හවස ටිකක් හාන්සි එන්නත් එක්ක”
“ටවුමේ මාර සෙනග ඇති නේද?”
“මගෙ ලක් එක මලයා - මලබාර් වීදිය මුලදිම නවත්තලා ඒ අය බස්සන්න පුළුවන් වුනා - හොඳ වෙලාවට එතන හිටපු පොලිස් කාරයෙක් මට නවත්තන්න තැන හදලා දුන්නා!”
“ශඃ - ම හිතුවේ කිට්ටු වෙන්න බැරුව ඇති කියලා. මීට පස්සේ අයියමයි කාරෙක එලවන්නේ!”
හැබැයි එහෙම කිව්වට මටත් පෙරහැර පටන් ගන්න ඉස්සර එදිරිසිංහ පවුල ගිහින් දාන්නත් ඉවරවෙලා ආපහු එකතු කරගන්නත් කිසි කරදරයක් වුනේ නෑ. මලබාර් වීදියේ අයියා නවත්තපු තැනටම මමත් ගියා. ආයෙත් පොලිස් කාරයන්ගෙ උදව්වෙන් මම නවත්තා ගත්තේ. පෙරහැර ඉවරවෙලා මට විනාඩි දහයක් විතර නවතලා ඉන්න වුනත් පොලිස් කාරයා මාව එලවා ගත්තෙ නෑ.
මිනිහට ස්තුති කරපු වෙලාවේ මිනිහා කිව්වේ ‘අපි පිට ගම් කාරයන්ට සලකන්න ඕන නේ සර්’ කියලා. ඒ වෙනතුරු මම හිතුවෙ නෑ එදිරිසිංහ පවුල ’පිට ගම් කාරයෝ’’ කියලා කාටවත් ඒත්තු යයි කියලා.
පෙරහැර ඉවරවෙලා ගෙදර ආ වයසක ජෝඩුවම හරිම සතුටින් ඉන්න බවයි පෙනුනේ. ඒක කමලටත් මටත් සන්තෝසෙට කාරණයක් - කරදරයක් නැතුව අපේ ‘ඩියුටිය’ කරා වගේ. හොඳටම වෙලා ගිය බව අමතක කරලා අපි පැයක් විතර තේ බිබී කතා කර කර හිටියා. එදිරිසිංහ දෙමව්පියෝ පහසුවෙන් වගේම උද්යෝගමත්ව කතා කරනවා මම දැක්කේ පළමු වරට. දෙන්නා මාලිගාව, පෙරහැර, වැව, විදුලි/පන්දම් එලිය, අලි, නිලමෙලා… ගැන කතාකළේ ජීවිතේ කලක් පෙරුම්පුරාගෙන ආ දෙයක් දුටුවා වගේ. ඒ වෙලාවේ මගෙ හිතට නැගුනේ කොහෙන් ආවත් ‘අපි ඇත්තටම අමුත්තෝ නෙවෙයි’ කියලයි.
මිස්ට එදිරිසිංහ නිහඬව කතා අසාගෙන හිටියේ මද හිනාවකින් මුහුණ දීප්තිමත් කරගෙනයි - තම දෙමව්පියන්ගේ නුවර ගමන ඉතා සාර්ථක බව එයාටත් ඒත්තු ගිහින්.
……………………….
පහුවදා උදේ මම එදිරිසිංහ පවුල් ගමේ එක්ක ගියේ ඔවුන්ගෙම ඉල්ලිම අනුවයි. තව දවස් කිහිපයකින් හුංගම බලා පිටත් වෙන්න බලාපොරොත්තු වන නිසා කොටුවගේ ජෝඩුව අපේ ගමත්, පාසලත් අවසාන වරට දැකගන්නත් ඉඳුම් හිටුම් දුන් මාමා සහ නැන්දාටත් හද පතුලෙන් ස්තුති කිරීමටත් ආශාවෙන් ඉන්න බවයි මිස්ට එදිරිසිංහ කිව්වේ.
අයියා ගමේ ආවෙ නැත්තේ හෙට අනිද්දා මාත් එක්ක වැවරවුමේ ඉඳන් පෙරහැර බලන බලාපොරොත්තුවෙන්.
මම දවල් කෑමටත් නොනැවතී ආපහු එන්න පිටත්වුනේ වැඩිහිටි හතර දෙනා මම කවදාවත් නොදැකපු තරමට ඉතා උනන්දුවෙන් පෙරහැර වර්ණනා කරමින්, හයියෙන් හිනා වෙමින් උදේ තේ බොමින් සිටි වෙලාවෙයි. මට කෙලින්ම නුවර ඒමට වූ එකම අවහිරය අපෙ අට්ටික්කා ගහ ලඟදී මිනිහෙක් අත උස්සලා කාරෙක නැවැත්වීමයි.
“මහත්තයා කට්ටියට පෙරහැර පෙන්නුවා?”
“ආ… අප්පුහාමී? ඔවු. කිසිම කරදරයක් නෑ!”
“හොඳ වෙලාවට කවුදෝ සීට් තුනක් කැන්සල් කරේ නේද? අනික හොඳ වෙලාවට ඩ්රයිවර්ලයි පොලිස් කාරයොයි කාරෙක පාක් කරන්ට උදව් කරේ නේද?”
“ඒ… ඒ සේරම අප්පුහාමිගෙ වැඩද? ඇයි එහෙම කරේ?”
“හ්ම්… මම තීරණය කළා එදිරිසිංහ මහත්තයා අපෙ ගමේ නවත්තගන්න වටින තරමට හොඳ මිනිහෙක් කියලා.. ඒ දවස්වල මගෙ ගහ යට පස් දැම්මත්!”